බුදු දහමේ සාරය 01 (The Essence of the Buddha Dhamma 01)

හැම කෙනෙකුටම තියෙනවා පිරිසිදු සිතක්, චිත්ත ශක්තියක්. හැබැයි ඒ සිත පවතින්නේ අපිරිසිදු තත්වයේයි. එකට කියන්නේ විඥානය කියල. පිරිසිදු සිත කිලිටි වෙලා තියෙන්නේ විඥානයෙන්. විඥානය කියන්නේ විකුර්ති ඥානයට. ලෝකය තුල රජ වෙලා ක්‍රියා කරන්නේ විඥානයයි. විඥානයේ එකම අරමුණ පැවතීමයි. ඒ පැවතීමට අවශ්‍ය කරන ගති හදා ගන්නවා. සාමාන්‍ය සත්වයෙක්, මනුස්සයෙක්, දෙවියෙක්, බ්‍රහ්මයෙක්, නිරී සතෙක්, ක්‍රියා කරන්නේ මේ විඥාන ශක්තියෙන්මයි. විඥානය පන ගැන්වෙන්නේ තමන් කරන පවු පින් වලින් එකතු වන ශක්තියෙන්. පින් පවු දෙකෙන්ම කෙරෙන්නේ එකතු කරන එක.
පවු කරලා එකතු කරන ශක්තිය අපිරිස්දු නිසා තමන් අපා ගතවනවා. ප්‍රේත, සත්ව ලෝක වැනි පහත තැන් වල, දුගති (දුක් උපදවන ගති ඇති) වල උපදිනවා. සසර දික් වෙනවා. පින් කලාම එකතු වන ශක්තිය පිරිසිදු නිසා සුගති (සුව උපදවන ගති ඇති) වල උපදිනවා. (මිනිස් ලොව, දෙව්ලොව වැනි තැන් වල.) සසර දික් වෙනවා. කර්ම බීජ සකස් වෙනවා. තියෙන කරම් බීජ වලට පොහොර, අලුත් ශක්තිය ( පින්, පව්) එකතු වෙනවා. තමන් සංසාරයේ කරපු පින් පවු වලින් සකස් වෙච්ච කර්ම බීජ මේ චිත්ත සන්තානයේ තැන්පත් වෙලා තියෙනවා. ඒවා වල හේතුවෙන් සසර පුරා පුරුදු කරගෙන ආපු එක එක ජාතියේ ගති පුරුදු වලට අනුව ක්‍රියා කරමින් මේ උපතෙදීත් යම් යම් ක්‍රියා කරලා සය දොරින් (ඇස , කන, නාසය, දිව, ශරීරය සහ මනස) තවත් කුණු එකතු කරනවා. මේවා වලට අනුසය කියල කියනවා. චිත්ත සන්තානයේ තැන්පත් වී ඇති කොටසට කියන්නේ ආසය කියල.

බොහෝ අය කැමති දේකට ආසා උනාම ඒකට ඇලෙනවා. සතුටු වෙනවා. කැමති වෙනවා. බැඳෙනවා. මේක තමයි රාගය. මේ බැඳීමට කියනවා පටිච්ච වීම කියල. පටිච්ච කියන්නේ කැමැත්තෙන් බැඳීම. (පටිච්ච – පටි ඉච්ච ) කෙනෙක් බැඳෙන්නේ කැමැත්තෙන්මයි. රාගයෙන් බැඳුනම අතහරින්න කැමති නැති නිසා බදාගෙන, අල්ලාගෙන, අතනොහැර තියාගෙන්න උත්සහ කරනවා. මේක තමයි ලෝබය. මෙහෙම අල්ලාගෙන ඉන්න දෙයක් අහිමි උනොත් තමන්ට දුක හිතෙනවා. තරහ යනවා. තරහක් ආවාම ඒකත් එක්ක ගැටෙනවා. අකමැති වෙනවා.පිළිකුල් වෙනවා. එපා වෙනවා. මේක තමයි ද්වේශය නැත්නම් ලොබයේ දෙවැනි වේශය. මෙහෙම කැමති අකමැති දෙක අතර වැරදි මැනීමක් ඇතිකරගන්නවා. මේක තමයි මෝහය. මෝහය නිසා සත්‍යතාවය පෙනෙන්නේ නෑ. එක් කෙනෙකුට හොඳ දෙයක් තව කෙනෙකුට වැරදි වෙන්නෙත්, එක් කෙනෙකුට රස දෙයක් තව කෙනෙකුට නීරස වෙන්නේත් මේ වැරදි මැනීම නිසයි . ඒ වැරදි මැනීම නිසා තමා මුලා වෙනවා. කැමති අකමැති දෙක අතර දෝලනය වෙවී වැරදි ලෙස මනිමින් ඉන්නවා. නිරන්තරෙයෙනම එක්කෝ රාගයෙන් ඇලිල, එහෙම නැත්නම් ද්වේශයෙන් ගැටිලා, මේ දෙක නිසා මුලා වෙලා මනස මොට වෙලා, මෝඩ වෙලා තමයි බොහෝ අය ජීවත් වෙන්නේ. (රාග, ද්වේශ, මෝහ) මේ මෝහය නිසාමයි මෙලෙස වැරදි දැක්මක් ඇති වෙන්නේ. හොඳයි, නරකයි, දුකයි, සැපයි, රසයි, නීරසයි කියලා මනින්නේ. මෙහෙම මෝහයක් ඇතිවෙන්නේ ඇයි? අවිද්‍යාව නැත්නම් නොදැනීම නිසා. මොනවා නොදැනීමද? මේ ඇලෙන්න ගැටෙන්න මුලා වෙන්න තරම් වටිනා කිසිම දෙයක් නැති බව නොතේරෙන නිසා. නිච්චයි, සුඛයි, අත්තයි කියා කිසිම දෙයක් නැතැයි කියා නොදැනීම. මේවා ගැන කියවා ලැබෙන දැනීම නොව තමාම අත්විඳ වටහාගෙන නැති කම. නොදැනීම. ඇහැට රූපයක් දැක්කම කලින් වෙන්නේ රූපය දැකීම. එකට ගිහින් ඇලෙන්නේ වැරදි මැනීම නිසා. ගැටෙන්නේ වැරදි මැනීම නිසා. මේ දෙකම වෙන්නේ මුලාව නිසා. රූපය දැක්කට පස්සේ තමයි එක වුනේ. එතකොට රූපය දැක්ක ගමන්ම මේක ලස්සනයි, ප්‍රියයි, හොඳයි හෝ කැතයි, අප්‍රියයි, නරකයි කියල වැරදි ලෙස මනින්නේ නැත්නම් එකට ඇලෙන්නේත් නැ, ගැටෙන්නේත් නැ, මුලාවෙන්නෙත් නැ.

කෙනෙක්ට තමන් කැමති දෙයක් ලැබුනම, ලබාගත්තාම, ඒක එලෙසම කැමති ලෙසම දිගටම තියාගෙන ඉන්න පවත්වාගෙන යන්න උත්සහ කරනවා. ඒ දේ ඉස්තිරවම පවතී කියල හිතාගෙන ඉන්නවා. (නිච්ච – ඉස්තිරවම පවතිනවා යයි සිතීම) එහෙම ඉන්නකන් තමන්ට සැපයි, සුවයි.(සුඛ) එහෙම ඉන්නකොට තාවකාලික ස්ථිර බවක් පරිපූර්ණ බවක්, සංතෘප්ත බවක් දැනෙනවා.(අත්ත) කිසිම අතරමං වීමක් දැනෙන්නේ නැ. එත් කිසිම දෙයක් තමන් කැමති ලෙස එක දිගට පවත්වාගෙන යාමට නොහැකි නිසා ඒ සතුට අවසන් වූ විට දුක හට ගන්නවා. තමන් අකමැති දෙයින් දිගටම වෙන්වෙලා ඉන්න උත්සහ කරනවා. එත් කිසිම දෙයක් තමන් කැමති ලෙස එක දිගට පවත්වාගෙන යාමට නොහැකි නිසා ඒ දුකින් වෙන්වී සිටීම අවසන් වූ විට දුක හට ගන්නවා. කොහම ගියත් අවසානයේදී කිසිම දෙයක් තමන් කැමති පරිදි පවත්වාගෙන යාමට නොහැකි නිසා උරුම වෙන්නේ දුක පමණයි. කැමැත්ත කියන්නේ ඉච්ච කියන එක. කිසිම දෙයක් තමන් කැමති පරිදි තියාගන්න බෑ, කැමති පරිදි පවතින්නේ නෑ කියන්නේ අනිච්ච් කියන එක. වැරදි මැනීම නිසා සිදු වන්නේ ඉච්ච දේ අනිච්ච නොව නිච්ච යයි සිතීමයි. කැමති පරිදි කිසිම දෙයක එලෙසම නොහිටින නිසා (අනිච්ච) තමන්ට දුක හටගන්නවා. (සැප කෙලවරවීමත් දුකයි – සුඛ දුක්ඛ, දුක හට ගැනීමත් දුකයි – දුක දුක්ඛ.) සියලු දේ අනිත්‍ය වීම ලෝක ධර්මතාවයක්. නමුත් තමන්ට මෙතන දුක ඇතිවෙන්නේ සියලු දේ අනිත්‍ය නිසා නෙවෙයි. තමන්ට කැමති පරිදි පවත්වාගෙන යාමට නොහැකි නිසයි. දුක හටගන්නේ තමන්ගේ සිතේ. සියලු දේ අනිත්‍ය නිසා අසල්වැසි ගෙදරක කෙනෙක් මැරුණට තමන්ට දුක හට ගන්නේ නැත්තේ ඒ කෙනාට තමන් බැඳිලා නැති නිසයි. පටිච්ච වී නැති නිසයි. ඒ මරණය නිසා තමන්ට අඩුවක් පාඩුවක් නැති නිසයි. තමන්ගේ පවුලේ තමන් බැඳිලා ඉන්න කෙනෙක් මැරුණම තමන් අඬන්නේ තමන්ට සිදුවූ අහිමි වීම, අඩුව, පාඩුව නිසා. තමන් කැමති පරිදි එක දිගට නොහිටින නිසා. මේ දුක නිසා, සිතේ ඇතිවන අසහනකාරී ගතිය නිසා, නැවතත් තමා කැමති දෙය පසු පස යනවා. ඒකම හෝ ඊට වඩා වැඩි යමක් හොයනවා. තමන්ට අකමැති තැනකට යන්න සිදුවුනොත්, තමන් අකමැති කෙනෙක් සමග ඇසුරක් ඇතිවුනොත් එම අකමැති දෙයින්, කෙනාගෙන් ඉවත් වෙනවා. දිගටම ඉවත්වී ඉන්න උත්සහ කරනවා. මෙසේ තමන් කැමති පරිදි කිසිම දෙයක් නොපවතින නිසා හටගන්නා දුක නැතිකරගනීමට සැමවිටම නැවත නැවතත් සතුට ඇති කරගන්න, දුක නැතිකරගන්න නැවත වරක් බැඳීම් ඇතිකරගන්න සසර දිගේ යනවා. කිසිම සහනයක් නැ. එක උපතක පමණක් නෙවෙයි මුළු සන්සාරේම අනාත වෙනවා. දිගින් දිගටම අනාත වෙනවා. (අනිච්ච, දුක්ඛ, අනත්ත – ත්‍රි ලක්ඛනය )

රාග, ද්වේශ, මෝහ කියන්නේ තමන්ව සසරට බැඳ තබන බලවත් බැමි තුනක්. බානක්. මේ බැමි තුන නිසා අනිච්ච, දුක්ඛ, අනත්ත තත්වයට පත්වෙනවා. මේ බැමි තුන කපා ඉවත් කලයුතුයි. මේ බානෙන් නිදහස් විය යුතයි. ඒකට තමයි නිබ්බාන කියන්නේ. (නිර්වාන කියල අර්ථයක් නොමැති සංස්කෘත වචනයක් අද භාවිතා වෙනවා.) එසේ වැරදි විදිහට මැනීම නිසා අර, ඇලීම ගැටීම, මුලාව නිසා සිතේ ඇතිවන වැරදි අදහස් වලින් ජනිත වන චිත්ත ශක්තිය නිසා අර කර්ම බීජ වලට තවත් පොහොර වැටෙන අතරම අපිරිසිදු විඥානයට තව තවත් කිළිටි වෙනවා. අපිරිසිදු ශක්තිය එකතු වෙනවා. එතකොට අර පිරිසිදු සිත තව තවත් වැහෙනවා. එහෙම උනාම සත්‍ය පෙනෙන්නේ නැ. සියලු දේ තියෙන ආකාරයෙන් පෙනෙන්නේ නැ. මෝහය කියන පටලයෙන් වැහිලා තමයි හැම දෙයක්ම පෙනෙන්නේ. හැම දෙයක්ම තමන්ගේ කැමති අකමැති යන වැරදි මැනීමට ගෝචර කරගෙන මුලාවෙනවා. ඒක නිකන් හරියට කුණු බැඳිච්ච ජනේලයකින් බැලුවට හරියට එලිය පෙනෙන්නේ නෑ වගේ. එහෙම බලලා වැරදි තීරණ ගන්නවා. අඳුරේ ඈත සෙලවෙන ගසක් හොල්මනක් යයි සිතනවා සේ අපි රැවටී රැවටී සසරේ දිගින් දිගටම ගමන් කරනවා. විඥානය හැම වෙලේම අපේ මනස (මනින ඉන්ද්‍රිය) ආවරණය කරලා වැරදි මිනුම් ක්‍රමයකින් ශක්තිය එකතු කරමින් සංසාරේ දිගේ යන්න අවශ්‍ය ශක්තිය සපයා ගන්නවා. මේ උපතේ ලැබුණු ශරීරය දිරා පත් වෙලා ගියාම ඒක ඇත හැරලා ( මරණයෙන්) චිත්ත සන්තානයේ ඇති කර්ම බීජ වලට අනුව නැවත සැරයක් විශ්වයෙන් ද්‍රව්‍ය අරගෙන (පටවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාස, වින්ඥාන) අලුත් වාහකයක් (ශරීරයක් , මනුෂ්‍ය ඇසට පෙනෙන හෝ නොපෙනෙන, මිනිස්, සත්ව, ප්‍රේත, දේව, බ්‍රහ්ම, නිර සතුන් වැනි ) හදා ගන්නවා. ඔන්න ඔහොම සංසාරේ දිගේ යනවා. සංසාර රිය (විඥානය තමයි රියදුරා. ශරීර කූඩුව තමයි වාහනය. රිය ) ගමනක යෙදීල ඉන්නවා.

ලොව්තුරා බුදුවරයෙක් පහල වෙන්නේ අති දීර්ග සංසාරයේ මෙහෙම අනාත වී ගමන් කරන සත්වයන්ව නිදහස් කරන, සියල්ල නිච්චයි, සුඛයි, අත්තයි කියා වැරදි ලෙස වටහාගෙන පටිච්ච වී, බැඳී, මෝහයෙන් මුලාවී සංසාර රිය ගමනක යෙදි සිටින අය එම රිය ගමනින් මුදවා ගැනීමට, අනිච්ච, දුක්ඛ, අනත්ත තෝරා බේරා ගන්න ක්‍රමවේදයක් පෙන්වීමට, ලෝබ, ද්වේශ, මෝහ කියන බැමි තුනෙන්, බානෙන් මිදීමට, කපා ඉවත් කරන, විරිය භාවිත කර (විරිය කියන්නේ රිය ගමන අරිය කරන්න භාවිත කරන ක්‍රමවේදයට) මේ සංසාර රිය ගමන අරිය කරන ක්‍රමවේදයක්, මාර්ගයක් පෙන්වීමටම පමණයි. . ලෝකේ හොඳ සුව යහපත් කරගෙන පවු වලින් වැළකී පින් කර කර සසර දිගේ ගමන් කරමින් කාටවත් නොපෙනෙන දෙවු මිනිස් සැප කෙලවර(ක් නැති) නිවන පෙන්වන්න නෙවෙයි. ලොව්තුරා බුදු හාමුදුරුවෝ පෙන්නුවේ ඔය ගමන නවත්වන ක්‍රමයක්. චිත්ත සන්තානයේ ඇති කුණු සලා හැර (කුසල් කියන්නේ කුණු සලා හැරීම) සසර ගමන කෙලවර කරන ක්‍රමයක්. පින් පවු එකතු කරමින් සසර සැරිසැරීම දික් කරන ක්‍රමයක් නොව කුණු සලාහැර ඉවත් කර සසර ගමන අවසන් කරන ක්‍රමයක්(කුසලස්ස උප සම්පදා – කුණු මුල් ගලවා කුණු සලා හැර තවත් එකතු කිරීමෙන් වැළකීම). දෙවු මින්ස් සැප කෙලවර නොවේ මේ උත්පත්තියේම එය සිදු කර ගත හැකි ක්‍රමයක්. රැස් කර එකතු කර ගන්න ක්‍රමයක් නොව අස්කර ඉවතලා නිදහස් වීමේ එකම මාර්ගය. ඇලීම, ගැටීම, මුලාවීම නොවී දින හතක් ඉන්න පුළුවන් නම් විඥානය අක්‍රිය වෙනවා.(සතර සතිපට්ටාන සුත්‍රය) නැති වෙලා යනවා. ආහාර නැතුව මැරෙනවා. එහෙම විඥාන ශක්තිය සම්පූර්ණයෙන්ම නැති වී ගියාම අර පිරිසිදු චිත්ත ශක්තිය ඉස්මතු වෙනවා. සියල්ල නිවැරදිව පෙනෙනවා. වැටහෙනවා. දැනෙනවා. දකිනවා. හරියට අර කුණු බැඳිච්ච ජනේලය සම්පූර්ණයෙන්ම හෝදලා පිරිසුද කළාම නිවැරදිව එහා පැත්ත පෙනෙනවා වගේ. ඔන්න ඔය අවස්තාව ආවහම තමයි අරිහත් නැත්නම් අරහත් උනා කියන්නේ. අරිහත් කියන්නේ සංසාර රිය ගමන නැවත්වූවා කියන එකටයි. අරහත් කියන්නේ ලෝකය රස බැලීම සම්ප්පූර්ණයෙන් අතහැරියා කියන එකටයි. (රහත් උනා කියන එකේ කිසිම පැහැදිලි අර්ථයක් නැ. තව තවත් රස බල බල ඉන්නවා කියල හිතන්න පුළුවන්. තවම සසරින් මිදිලා නැ.) අරහත් වෙන එක අවස්ථා අටකින් සිදු වන දෙයක්. ඒවා නම් සෝවාන් මාර්ගය, සෝවාන් පලය, සකදාගාමී මාර්ගය, සකදාගාමී පලය, අනාගාමි මාර්ගය, අනාගාමි පලය, අරහත් මාර්ගය, අරහත් පලය. මේවා එක මොහොතකින් හෝ කාලයක් ගෙවී සිදු විය හැකියි. හැබැයි අට අවස්තාවම පසු කල යුතයි. එවිට ඉතිරිවෙලා තියෙන ශක්තිය ගෙවිල ගියාම පිටිනිවන් පානවා. පිරිනිවන් පාන්න කලින් අර ඉතිවෙලා තියෙන පැවැත්ම ගෙනියන ශක්තිය වැය වෙලා යනවා. එම ශක්තියෙන් හොඳ හෝ නරක (සම්මත වශයෙන්) විපාක ලැබෙන්න පුළුවන්.

Leave a Reply