තර්ක, විතර්ක, අදහස්, උදහස්

තර්ක, විතර්ක, අදහස්, උදහස් සියල්ලම ඇතිවන්නේ අවිද්‍යාව හේතුකරගෙනය. අතීතයේ යම් කරුණක් කෙනෙකුට වැටහෙන විට තවත් කෙනෙකුට එතනම ප්‍රශ්නයක් ඇතිවන්නේ එකතුකරගත් දැනුමේ හා තම තමන්ගේ වැටහීමේ අඩුපාඩු නිසාය. පෘථක්ජන මනසකින් සොයාගත්, ඉදිරිපත් කල  බොහෝ කරුණු ටික කලකින් සංශෝදනය කර වෙනස් වූ වාර ගණන අසීමිතය. භූගත  පෞරාණික වස්තු දෙස බලා අතීතයේ මිනිසුන් මෙසේ ජීවත්වුවයයි ප්‍රකාශ කිරීමද ප්රුතක්ජන මනසින් කරන අනුමාන උපකල්පනය.  මේවා කිසිම දෙයක් 100% කෙසේ වෙතත් 50% වත් නිවැරදිද යන්න අද ජීවත්වන කිසිමකෙනෙකුට ඔප්පුකල නොහැක.ඊයේ පෙරේද සිදු වූ දෙයක් වුනත් සියැසින්ම දැක ගත්තේ නැත්නම් ඔප්පු කිරීම අසීරු වනු ඇත. ඉතා සරල උද. ලෙස ගතහොත් ඔබ මහා පාරේ යනවිට පාරේ වලක් දුටුවොත් එය ඇතිවුනේ කෙසේද කියා තර්ක කර නිගමනයකට ආ හැක. ඇත්තටම සිදුවූ දෙය ඊට හාත්පසින්ම වෙනස් දෙයක් වීමට අවස්ථා බොහෝ ඇත. ඇසින් දුටුවකුගෙන් ඇසුවත් ඔබට ලැබෙන්නේ දුටු කෙනාගේ දැනුම අනුව ලැබෙන පිළිතුරකි. එයද 100% නිවැරදි වන්නේ නැත.  ඉතිහාසය දෙස විවුර්ත මනසකින් බලන ඕනෑම කෙනෙකුට මෙය ඉතා පැහැදිලිව දැක ගත හැක. නිවැරදිව ලිකිතව ලියා තබා ඇත්නම් පිළිගත හැකි වුවත් එතැනද ලියන තැනැත්තා එක පැත්තකට බරවී සිටියා නම් එයද අසාර්ථක වනු ඇත. එසේ සිටියාද නැද්ද යන්න තේරුම් ගැනීමත් අසීරු කරුණකි. භාෂාවේ වෙනස්කම් හා අර්ථකතන හරියට නොතෙරුනානම් ගැටළු පොදිය තවත් විශාල වනු නියතය. ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ කර ඇත. එය කටපාඩම් කර දන්නා අයද බොහෝය. ප්‍රශ්නයක් ඇසූ විගස සූත්‍ර පේලි ගණන් කියා ඒවාට පිළිතුරු දීමට උත්සහ දරන අයද බොහෝමය. බහුතරයකට එම පිලිතුරද නොතේරෙන නිසා තවත් ප්‍රශ්න ඇතිවනු ඇත. මේවා අපි හැමදෙනාම නිතර අසන දකින දේවල්ය. ධර්මය ග්‍රන්ථාරූඩ කර තිබුනත් ඒවා කියව හැමදෙනාම මගපල ලබා නැත. ලබන්නටත් බැරිය. ධර්මයේ එක කොටසක් ග්‍රන්ථාරූඩ කල නොහැක. . නිවන අවබෝධ කරගත් සමහර අය අන් අයටද මග පෙන්වා දෙයි. එය පරතෝගොෂක ප්‍රත්‍යයි. එය ධර්මයේ ජීවී සම්ප්රෙෂණයයි. (live transmission) සමහර අය සැම දෙයටම හේතු සාදක සොයමින් තම වටිනා ජීවිතය වැයකරයි. සමහර කරුණු කිසිම දිනක 100% සාදක සහිතව ඔප්පු කල නොහැකි දේවල් බව මගේ අදහසයි. මා මේ දීර්ඝව ලියු කරුණු ද තර්ක විතර්ක කර බිඳ දමන්න උත්සහ කරන්නද සමහර අය තවත් තමන්ගේ කාලය නාස්ති කරන්න ඉඩ ඇත. එසේ නොකර මා මේ කල ප්‍රකාශය ගැන තනිව හිතා බලන්න යයි මා මෙත් සිතින් ඉල්ලා සිටිමි. නිවනද ඔප්පු කල නොහැක. එය තනිව අවබෝධ වන අවබෝධ කරගතයුතු දෙයකි. මේ ලොවද වැඩි හරියක් ඇත්තේ නිවන ප්‍රතික්ෂේප කරන පිළිනොගන්නා අයයි. ඔවුන් නිවනක් නැති බව කෑ ගසා කියන විට නිවනක් ඇති බව අසා  ඇති අය එයට වඩා වෙර යොදා නිවනක් ඇති බව කියයි. ඒ දෙපාර්ශවයටම කිසිම නිවනක්නම් නැත. ඔවුන්ට ඇත්තේ දිනීමේ අදහසත්, තමන් දරන මතය නිවැරදියි ඔප්පු කිරීමේ මාන්නයයි. කවුරුන් දිනුවත් නිවන නිවනමය. එය තමන් තනිව අවබෝධ කරගන්නා දෙයකි.